ගැටබරු රජමහා විහාරය මුහුදු මට්ටමින් අඩි 1500 උසින් පිහිටි ගැටබරු ශිඛකරය තුළ පිහිටා ඇති අතර, රක්වාන හෙල් වැටියටත්, සිංහරාජ කඳු වළල්ලටත්, මොරවක කදු වළල්ලටත් මැදිව පිහිටා ඇත. මෙම ඵෙතිහාසික පුදබිමේ විද්‍යමාන වූ පෞරාණික ලක්ෂණ කිසිවක් අද කියැවිය නොහැකි මට්ටමකට නවීකරණය වී ඇත. කටාරම් කොටන ලද ලෙන අදටත් දැකගත හැකිය.මෙහි පිහිටා තිබෙන චෛත්‍ය සහ බෝධින් වහන්සේගේ පෞරාණිකත්වය තීරණය වන කිසිදු සාක්ෂියක් මේ වනතෙක් සොයා ගැනීමට නොහැකි වී තිබේ. ගැටබරු රජමහා විහාරයේ ආරම්භය වළගම්බා රජුගේ රාජ්‍ය පාලන කාලයේ මෙරට බෞද්ධ ජනතාව වෙනුවෙන් දයාද වූ බව සැලකේ. එහි ආරම්භය වළගම්බා රජු සමයේ ඉදිවූයේ යැයි ලිඛිත සාක්ෂි අල්ප වුවත් මුඛ පරම්පරාගත විශ්වාස අනුව එම මතයන් බොහෝදුරට පිළිගත හැකිය. වළගම්බා රජු රුහුණු – මායා දෙරටේ සැඟවී සිටිමින් සේනා සංවිධානය කරද්දී රජුට ආරක්ෂාව හා රැකවරණය සලසා ලක් රජය එක්සේසත් කිරීමට රජ්ජුරු බණ්ඩාර දෙවියන් කරන ලද උපකාරවලට කෘතගුණ සැලකීමක් ලෙස රට එක්සේසත් කිරීමෙන් පසු මෙම දෙවොල ඉදිකළ බව ජනප්‍රවාදයේ පවතී. විශේෂයෙන්ම වළගම්බා නිරිඳුන් කරවන ලද යැයි සැලකෙන විහාරස්ථානවල පමණක් දක්නට ලැබෙන බස්නාහිර දෙවිදුන්ගේ ප්‍රතිමාව පිළිබඳ සලකා බලනවිට පෙනී යන්නේ රජ්ජුරු බණ්ඩාර දෙවියන් හා රජු අතර ඉතා සමීප සම්බන්ධයක් තිබූ බවයි.
රුහුණේ වෙසෙන දෙවිවරුන් අතර කතරගම දෙවියන්ගේ බල පරාක්‍රමය, තේජස, කීර්තියට සමකළ හැකි දෙවියෙකු නොමැති බව බොහෝ ජනතාවගේ විශ්වාසයයි. තේජාන්විත මහාබල පරාක්‍රම කතරගම දෙවිදුන් හැරුණුවිට ඊළඟ ප්‍රධානතම දෙවියන් ලෙස රජ්ජුරු බණ්ඩාර දෙවියන් ඇතමුන් සලකන අතර, කතරගම දෙවිදුන්ගේ සමීපතම මිතුරෙකු ලෙසත් රජ්ජුරු බණ්ඩාර දෙවියන් සැලකේ.
මුළු මහත් රුහුණු රට පුරාම තම බල පරාක්‍රමය විහිදුවාගෙන සිටින රජ්ජුරු බණ්ඩාර දෙවියන් හෙවත් ගැටබරු දෙවියන්ට පාත දෙවි හාමුදුරුවන්,බස්නාහිර දෙවියන්, බටහිර දෙවියන් වැනි අන්වර්ථ නාමයන්ගෙන් හැඳින්වීමට ඇතැම්හු පුරුදු ව සිටිති. කන්ද උඩරට රාජවංශයේ බණ්ඩාර සම්භවයෙන් පැවැත ආ බණ්ඩාරවරුන් ප්‍රාදේශීය උපරාජ්‍යයන් බවට පත්වීමේ දී බස්නාහිර ඉසව්වේ ප්‍රදේශ රැසකට අධිපතිව සිට මරණයෙන් පසු ‘රජ්ජුරු බණ්ඩාර’ නමින් දේවත්වයට පත්ව ඇතැයි ද තවත් ජනප්‍රවාදයක සඳහන් වේ.
එවන් විශ්වකර්මිත ගෞරවාදරයට පාත්‍ර වූ දෙවියෙකු වැඩ සිටින පූජනීය පුද බිමක් ලෙස ගැටබරු රජමහා විහාරය දහසකුත් බෞද්ධයන්ගේ භක්ත්‍යාදරයට හා වැදුම් පිදුම් ලැබීමට තරම් පින්බිමක් වීම අරුමයක් නොවේ. කාලාන්තරයක් වල් බිහිවී කැලයට නතුවී තිබූ ඵෙතිහාසික ගැටබරු රජමහා විහාරය නැවත හමුවීම රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ හාස්කමක් ලෙස බොහෝ ගැමි ජනතාවගේ විශ්වාසය හා මතයයි. වර්ෂ 1834 දී කොටපොල කෙහෙල් කොරටුව නමැති නිවසේ විසූ එලියස් හාමි දිනක් දඩයම පිණිස ගැටබරු කන්දට නැග ඇත. එහිදී ගෝනෙකු දැක ඔහු පසුපස ලුහුබඳින විට ගෝනා ගල් ගුහාවකට රිංගා ඇත. පසුව ඔහු ගෝනා සෙවීම පසෙකලා ගල් ගුහාව විපරම් කළ බවත්. එවිට ගුහාව තුළ පිහිටි මනරම් වූ දහඅට රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් දුටු බවත් අනතුරුව මේ පිළිබඳ ප්‍රදේශයේ ගම්වැසියන්ට සැළකර ඇති අතර මොරවක කැටගොඩ නම් උපාසක තැන මෙම ස්ථානයේ පැල් බැඳ එළිපෙහෙලි කර ගම්වාසීන්ගේ ආරාධනයෙන් වීරසිංහ කන්දේ සුමංගල මහා නා හිමියන් අලුතින් තැනූ ආරාමයට වැඩමවාලූ බවත් පැවසේ. පුවත මෙම විහාරස්ථානයේ පොත් ගුලෙහි ඇති ඉපැරණි පුස්කොළ පොතක පවා සඳහන් කර ඇත.